77 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු 
-------------••••••••••••---------------
         "ජාතික පුනරුදයට පෙළගැසෙමු" යන්න තේමාව කොටගත්  77වන ජාතික නිදහස් දිනයට සමගාමීව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය නිදහස් දින සැමරුම් උත්සවය ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් 2025.02.04 වන දින කාර්‍යාලයීය ශ්‍රවනාගාරයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි.

       ප්‍රථමයෙන්ම ජාතික ධජය එසවීම ප්‍රාදේශීය ලේකම්තුමියගේ සුරතින් සිදු කළ අතර, ඉන්පසුව ජාතික ගීය වාදනය කොට දේශයේ උන්නතිය වෙනුවෙන්  දිවි පිදූ ජාතික විරුවන් සහ රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පළ කෙරිණි. 

         ඉන් අනතුරුව පොල්තෙල් පහන් සිලු දල්වමින් සමාරම්භය සනිටුහන් කළ මෙම නිදහස් දින සැමරුම් උත්සවයේ පිළිගැනීමේ කතාව සමඟින් 77 ජාතික නිදහස් දිනය පිළිබඳ ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් අදහස් දැක්වීමක්ද සිදු කරන ලදී. 

        එමෙන්ම මෙම වැඩසටහනට සමගාමීව  ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යාවේදී පශ්චාත් උපාධි සංගමයේ 2022 කණ්ඩායමේ මූල්‍ය අනුග්‍රහයෙන් මෙම කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට පාසල් උපකරණ ප්‍රදානය කිරීමක්ද සිදු කෙරුණි. එහි සියලු සම්බන්ධීකරණ කටයුතු සිදුකරදුන් සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්ට විශේෂයෙන් ස්තුතිවන්ත වෙමු. 
          තවද 2024 ව‍ර්ෂයේදී ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ මැදිහත් වීමෙන් සිදුකරන ලද සමාජ ආර්ථික වැඩසටහන් ඇතුළත් "සමාජ ආර්ථික පුනර්ජීවනය-2024" විද්‍යුත් සඟරාව" එලි දැක්වීමද ප්‍රාදේශීය ලේකම්තුමියගේ සුරතින් මෙහිදී සිදු කෙරුණි.

        එමෙන්ම කාර්‍යාලයීය නිලධාරීන්ගේ කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කළ, The Best Orator of the Year -2025 තරගය, The Best Presenter of the Year 2025 තරගය සහ The Best Article of the Year 2025 යන තරග ජයග්‍රහණය කළ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් අගයමින් සහතිකපත් පිරිනැමීමක් ද සිදු කෙරුණි. 

       ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්, පරිපාලන නිලධාරීන්තුමන්, පරිපාලන ග්‍රාම නිලධාරීන්තුමන් ඇතුලු කාර්‍යාලයීය නිලධාරීන් රැසක් සහභාගී මෙම වැඩසටහනට සහභාගී වූ අතර, මෙම වැඩසටහන සාර්ථක කරගනු වස් සහය දුන් සැමට හදපිරි තුති පිරිනමමු.