"දරුවන් රැකගමු - සමසේ සලකමු"
ලෝක ළමා දිනය සුපිළිපන්නව සමරමු
-----------•••••--------------
"මල් කියන්නේ කාට කාට
ළමයින්ටයි පාට පාට
පෙළක් ළමුන් සුවද ගොඩයි
පෙළක් ළමුන් හරිම හැඩයි"

ළමයින් මල් වැනිය. නා නා විධ පැහැයෙන් වර්ණයෙන් යුක්ත වන්නේය. ගුණ නුවණින් සුවදවත්ය. එවන් වූ දරු පරපුර වෙනුවෙන් වෙන්වූ සුවිශේෂී දිනය අදයි. අද ඔක්තෝබර් මස පළමු වෙනිදාය. සුවාසක් වූ ශ්‍රී ලාංකික දුවා දරුවන් අන්තර්ජාතික වශයෙන් ළමා දිනය සමරනුයේ අදය.

1925 වසරේදී ජීනීවා නුවර ළමා සුබසාධනය සම්බන්ධයෙන් වූ සම්මන්ත්‍රණයකදී ඇරඹි කතිකාවතකින් මූලාරම්භය සනිටුහන් කරමින්, 1954 වසරේ දෙසැම්බර් මස 14 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී සම්මත වූ යෝජනාවලියක ප්‍රතිඵලයක් වශයෙන් දරුවන් වෙනුවෙන් දිනයක් වෙන් කොට එය සැමරිය යුතු බවට තීරණය විය.

1989 වසරේ නොවැම්බර් මස 20 වන දින ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය සම්මත වීමත් සමඟ නොවැම්බර් මස 20 වන දින විශ්ව ළමා දිනය බවට ප්‍රකාශයට පත් කෙරුණි. එදා සිට අද දක්වාම සෑම වසරකම නොවැම්බර් 20 වන දින විශ්ව ළමා දිනය ලෙස ලොව පුරා රටවල් විසින් සමරනු ලබයි.

එහෙත් එම දිනය එක් එක් රටවලට ආවේණික පරිදි, අවැසි පරිදි සංශෝධනය කර ගැනීමටද අවස්ථාව සලසා දුනි. එසේ හෙයින් ශ්‍රී ලංකාව ලෝක ළමා දිනය සෑම වසරකම ඔක්තොම්බර් මස 01 වන දින සමරනු ලබයි. ඒ අනුව "දරුවන් රැකගමු - සමසේ සලකමු" යන තේමාව යටතේ දරුවන්ගේ ලෝකය වර්ණවත් කරමින් මෙවරද ලෝක ළමා දිනය සමරනු ලබයි.

දරුවන් විශ්වයේ හදවතයි. කුතුහලයෙන් නිර්මාණශීලීත්වයෙන් හා ප්‍රීතියෙන් පිරි ඔවුන්ගේ ලෝකය අව්‍යාජය. දරුවන්ගේ සිනහව, අදහස් හා සිහින විශ්වයම හැඩකරයි. අනාගත නවෝත්පාදකයන්, නායකයින්, නිර්මාණකරුවන් ලෙස ඉදිරියට යාමට දරුවන්ට අපගේ ආදරය සැලකිල්ල හා ගෞරවය නිතැතින්ම හිමිවිය යුතුය. එමෙන්ම ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් සමාජයේ සැමට වගකීමක් ඇත. දරුවන් දරුවන් සේ සලකා කටයුතු කිරීමත්, ඔවුන්ගේ අනාගත සුරක්ෂිතතාවය තහවුරු කිරීමත් වැඩිහිටියන්ගේ වගකීම වන්නේය. දෙමාපියන්, ගුරුවරුන්, රජයන් සහ ප්‍රජාව දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් එක්ව ක්‍රියා කළ යුතුය.

ලෝක ළමා දිනය සමරන අද දවසේ දේශයේ ජීවනාලිය වූ ළමා පරපුර යහපත් පුරවැසියන් බවට පත් කිරීමට අවැසි නිසි මග පෙන්වීමත්, සංහිඳියාවෙන් යුත් අභිමානවත් පෞඪ ශ්‍රී ලාංකික පරපුරක් අනාගතය වෙනුවෙන් සුරක්ෂිත කොට ආයෝජනය කිරීමත් වැඩිහිටි අප සැමගේ යුතුකමක් වන්නේය.

හදවතේ සුව දසුන් මවන එක යායට පිපී සුවද හමන පුංචි මල් කැකුළු වලට සුපිළිපන්න හෙටක් උදාකර දීම වෙනුවෙන් දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු සමස්ත කාර්‍ය මණ්ඩයේ අපි හදවතින්ම සබැඳිව ක්‍රියා කරන බව මෙසේ සනිටුහන් කරමු.
Words by: Shirani DK