දැරණියගලින් නැගෙනහිර කුලියාපිටියට නෑගම්....
————————•••••••••———————-
මීට දෙමසකට පෙර නැගෙනහිර කුලියාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් හා ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩල සාමාජිකයින් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නෑගම් පැමිණි අතර එදින ලද ආරාධනයට අනුව දැරණියගල ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලයේ වැඩිහිටියන් හා සමාජ සේවා අංශයේ නිලධාරීන් නැගෙනහිර කුලියාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නෑගම් යාමේ වැඩසටහනක් 2024.07.18 දින සංවිධානය කරන ලදී.
නැගෙනහිර කුලියාපිටිය ප්‍රාදේශීය වැඩිහිටි බළමණ්ඩලයේ විචිත්‍රවත් නර්තන හා රබන් සුරල් හඬ හා පිළිගැනීමේ තොරණ මධ්‍යයේ දැරණියගල නෑදෑයන් ඉතා ලෙන්ගතුව පිළිගනු ලැබුවේ නැගෙනහිර කුලියාපිටිය සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, ගණකාධිකාරිතුමිය, පරිපාලන නිලධාරීතුමිය, පරිපාලන ග්‍රාම නිලධාරිතුමිය හා ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලයේ සභාපතිතුමා විසිනි.
ඉන් අනතුරුව උදෑසන සංග්‍රහය වෙත දැරණියගල නෑදෑයින් කැඳවාගෙන යනු ලැබූ අතර එහිදී හිටිවන කවි නිර්මාණ ශිල්පියෙකු විසින් උදෑසන සංග්‍රහය සඳහා දැරණියගල වැඩිහිටියන්ට සහ නිලධාරීන්ට කවියෙන් ආරාධනා කරනු ලැබීය. එහිදී සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය දැරණියගල වැඩිහිටියන් හා සුහද සාකච්ඡාවක නිරත වනුද දක්නට ලැබිණි.
ඉන් අනතුරුව විවිධ ප්‍රසංගය ආරම්භ වූ අතර එහිදී නැවත වතාවක් සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් දැරණියගලින් පැමිණි පිරිස පිළිගන්නා ලදී. ඉන් අනතුරුව දෙපාර්ශවයේම නර්තනාංග,ගායනාවන් හා විනෝද ජනක අංගයන්ගෙන් සභාව විචිත්‍රවත් විය. එහිදී දැරණියගල ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලයේ සභාපතිතුමා, වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරීතුමිය හා නැගෙනහිර කුලියාපිටිය ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලයේ සභාපතිතුමා හා සමාජ සේවා නිලධාරීතුමිය සභාව ආමන්ත්‍රණය කරන ලදී. ඊට අමතරව කුලියාපිටියෙන් දැරණියගලට නෑගම් පැමිණි දිනයේ සොඳුරු දසුන් අඩංගු ඡායාරූප එකතුවක් නැගෙනහිර කුලියාපිටිය නෑදෑයින් වෙත පිළිගැන්වීමද සිදුකරන ලදී.
අනතුරුව බිහල්පොල රජමහා විහාරය වෙත දැරණියගල නෑදෑයන් කැඳවාගෙන යනු ලැබූ අතර එහිදී ඔවුන් සඳහා ප්‍රණීත සිසිල් බීම සංග්‍රහයක් පිරිනමන ලදී. ඊට අමතරව විහාරස්ථානය වන්දනා කර ගැනීම සඳහා මල් දන්සලක්ද සංවිධානය කර තිබුණි. බිහල්පොල වසමේ ග්‍රාම නිලධාරිතුමිය විසින් දැරණියගල වැඩිහිටියන් නැවත වතාවක් ආදරයෙන් පිළිගන්නා ලද අතර එම විහාරස්ථානයේ ඓතිහාසික පසුබිම පිළිබඳව හරවත් තොරතුරු රාශියක් බිහල්පොල ග්‍රාමීය වැඩිහිටි කමිටුවේ සභාපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව නක්කාවත්ත විහාරස්ථානය වෙත වැඩිහිටියන් කැඳවාගෙන යනු ලැබූ අතර එහිදී ප්‍රණීත දිවා ආහාරයක් ඔවුන් වෙනුවෙන් සකස් කොට පිළිගන්වන ලදී. එය අවසානයේදී දැරණියගල නෑදෑයින් සියලු දෙනාටම කුලියාපිටිය නෑදෑ පිරිස් ස්තුතිය පළ කරන ලද අතර දැරණියගල වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරීතුමිය කුලියාපිටිය නෑ පිරිසට කෘතවේදීත්වය පළ කල අතර නෑගම් වැඩසටහන සමාප්ත වූයේ පනාවිටිය ඉපැරණි අම්බලම වෙත දැරණියගල පිරිස කැඳවාගෙන යාමෙන් අනතුරුවය. එම ස්ථානයද නැරඹූ වැඩිහිටියන් නැවත වතාවක් කුලියාපිටියේ ආගන්තුක සත්කාරවලට කෘතවේදීත්වය පළ කොට ගම්බිම් බලා පැමිණෙන ලදී.
මෙම නෑගම් වැඩසටහන සඳහා එක්වූ හා සංවිධානය කිරීමෙහිලා සහය වූ ශිරාණි දීපිකා හා නිපුනිකා හර්ෂි සංවර්ධන නිලධාරිනියන් දෙපළට,ජගත් මංජුල ග්‍රාම නිලධාරීතුමාට හා සුමිත් කුමාර සංවර්ධන නිලධාරීතුමාට සමාජ සේවා අංශයේ ගෞරවනීය කෘතවේදීත්වය පළ කරන අතර අපිරිමිත ලෙන්ගතුකමකින් අප කොට්ඨාසයේ වැඩිහිටියන් හා නිලධාරීන් උණුසුම් ලෙස පිළිගෙන නිරන්තරයෙන් අප හා සම්බන්ධ වූ නැගෙනහිර කුලියාපිටිය සහකාර ප්රාදේශීය ලේකම්තුමිය ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සැමට, සමාජ සේවා අංශය ප්‍රමුඛ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සැමට, ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලයේ නිලධාරීන් හා සාමාජික සැමට, දැරණියගල අපගේ ගෞරවනීය කෘතවේදීත්වය පුද කරමු.