ජගත් පරිසර දිනය වෙනුවෙන් රුක් රෝපණ වැඩසටහනක්
----------------------------------------------
ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබේ. “ඵලදායී භූමි පරිහරණයෙන් සුවදායී දෙරණක්” (Land Restoration, desertification and drought resilience) යන්න මෙවර පරිසර දින තේමාවයි. ඒ අනුව මතු පරපුර වෙනුවෙන් පරිසරය සංරක්ෂණය කිරීම පිළිබඳව ලෝක වාසී ජනතාව දැනුවත් කිරීමට සහ දිනෙන් දින පැනනගින ගෝලීය පාරිසරික ගැටලු පිළිබඳව ලෝක නායකයින්ගේ හා ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අවධානය යොමුකරවීම අරමුණු කර ගනිමින් මෙවර පරිසර දිනය සමරනු ලබයි.
1972 ජුනි මස 5 වැනිදා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී ආරම්භ වූ මානව පරිසරය සුරකීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ සමාරම්භක සමුළුවේදී ගත් තීන්දුවට අනුව වාර්ෂිකව පැවැත්වෙන ලෝක පරිසර දින සමුළුවට වසර 52 ක් සපිරෙන අද දවසේ දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන්, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන්, වසම්භාර රාජ්‍ය නිලධාරීන් සහ කාර්යාලයීය ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් දැරණියගල දකුණ වසමේ හතරවීදීය බෝධිරාජගල යෝගාශ්‍රම භූමී පරිශ්‍රයේ සහ ඒ අසලින් ගලා යන සීතාවක ගං ඉවුරේ රැක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණි.
මෙහිදී කොස්, මී, කුඹුක්, කරද ආදි පැළ 50 ක් පමණ රෝපණය කරන ලද අතර, මෙම වැඩසටහන සංවිධානය කිරීම වෙනුවෙන් සහය දැක්වූ සියලුම නිලධාරීන්ටත් නන් අයුරින් උදව් උපකාර කළ සැමටත් හෘදයාංගමව ස්තුතිවන්ත වෙමු.