ප්‍රාදේශීය කාන්තා දින සැමරුම් උත්සවය- 2024
————————————————————
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් ජාත්යන්තර කාන්තා දින සැමරුම් උළෙලට සමගාමී ප්‍රාදේශීය සැමරුම් උත්සවය 2024.03.14 දින සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාර පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
පූජ්‍යපාද ගලහිටිකන්දේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ අන්ය ආගමික පූජ්‍ය පක්ෂය විසින් සිදුකරන ලද සර්වාගමික වතාවත් වලින් ඇරඹි මෙම වැඩසටහනේදී කාන්තාවන්ගේ අභිමානය හා කාන්තා ශක්තිය පිළිබඳව ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත හරවත් දේශනයකට සවන් දීමට කාන්තාවන්ට අවස්ථාව උදාවිය.
එහි සම්පත් දායකත්වය ලබාදෙන ලද්දේ සීතාවක පුරාවිද්‍යා කාර්යාලයේ අධ්‍යක්ෂ, සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය විරාජ් බාලසූරිය මහතා විසිනි. කාර්යාලයේ නිලධාරිනියන්ගේ හා කාන්තා කාර්ය සංවිධාන සාමාජිකාවන්ගේ නර්තනාංග වලින් මෙම වැඩසටහන විචිත්‍රවත් විය. මෙහිදී පසුගිය වර්ෂ වල දක්ෂතා දැක්වූ හා කාන්තාවන්ගේ අභියෝගය උදෙසා ක්‍රියා කළ කාන්තා කාර්ය සංවිධාන වල නියෝජිතවරියන් ඇගැයීම ද සිදුකරන ලදී. ඊට අමතරව අඩු ආදායම්ලාභී කාන්තාවන්ගේ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ කට්ටල බෙදාදීමද සිදු කරන ලදී.
මෙම වැඩසටහනේ උදේ ආහාරය, දිවා ආහාරය,ගමන් ගාස්තු හා උත්සව සංවිධාන කටයුතු සඳහා මූල්‍ය අනුග්‍රහය ලබාදෙන ලද්දේ ප්‍රියන්ත පද්මකුමාර මහතා ප්‍රමුඛ දැරණියගල " තුරු සංවිධානය " විසිනි. සම්මාන හා ත්‍යාග සදහා අනුග්‍රහය ලබා දෙන ලද්දේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව, සණස සංවර්ධන බැංකුව, ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ඔමේගා කමියුනිකේෂන් හා පැහැසරා බුක්ෂොප් යන ආයතන විසිනි. මෙහිදී කාන්තා සංවිධාන වල සාමාජිකාවන් හා තුරු සංවිධානය මගින් ප්‍රාදේශයට ඉමහත් සේවාවක් කරන වනිතා සංවර්ධන නිලධාරීතුමිය ඇගයීම ද සිදුකරන ලදී.මෙම වැඩසටහන සඳහා සහයෝගය ලබාදුන් සියලු දෙනාටම අපගේ කෘතවේදීත්වය පුද කරමු.