වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන වැඩසටහනක්
---------------------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් වැඩිහිටියන් වෙනුවෙන් සංවිධානය කෙරෙන වැඩසටහන් අතර තවත් වැඩසටහන් ත්‍රිත්වයක් 2024.02.20 දින පැවැත්විණි. එහි පළමු වැඩසටහන ලෙස දැරණියගල ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් උදෙසා ප්‍රථමාධාර ගැන දැනුවත් කිරීමේ න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව සහිත වැඩසටහනක් කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී උපාලි රණසිංහ මහතාගේ සම්පත් දායකත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි. සමාජ සේවා අංශයේ සංවිධානයෙන් පැවැති මේ වැඩසටහන සඳහා පරිපාලන නිලධාරී රංජිත් වික්රමසිංහ මහතා සහභාගි විය.
දැරණියගල ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලයේ මාසික රැස්වීමද අද දිනට යෙදී තිබූ අතර එහිදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත වැඩසටහන් හා වැඩිහිටි සමිති වල ක්‍රියාකාරීත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සිදුවිය. මෙම වර්ෂයේ දී පැවැත්වීමට නියමිත සබරගමු පළාත් හොඳම වැඩිහිටි බල මණ්ඩලය තේරීමේ තරඟයේ නිර්ණායක සම්පූර්ණ කිරීම සඳහා වැඩිහිටි සමිති ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී දැනුවත් කරන ලදී.
මෙහිදී සංවිධානය වූ තෙවන වැඩසටහන ලෙස දැරණියගල සිරිසුමන වැඩිහිටි නිවාසයේ පාලක මණ්ඩල රැස්වීම කෑගල්ල දිස්ත්‍රික් ජේෂ්ඨ සමාජ සේවා නිලධාරීතුමියගේ ප්‍රධානත්වයෙන් සිරිසුමන වැඩිහිටි නිවාස පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී වැඩිහිටි නිවාසයේ පොත්පත් නඩත්තු කිරීමේ කටයුතු යාවත්කාලීන කිරීමට උපදෙස් ලබා දුන් අතර වැඩිහිටි නිවාසයේ සුභසාධන කටයුතු සඳහා පළාත් සභාව මගින් සිදු කරන මෙහෙවර පිළිබඳව දැනුවත් කිරීමක්ද සිදු කරන ලදී.
මෙම සියලුම වැඩසටහන් සඳහා සහයෝගය ලබා දුන් සියලු දෙනාට අපගේ කෘතවේදීත්වය පළ කරමු.