දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2024 වර්ෂයේ රාජකාරි සමාරම්භය.
——————————•••••••••————————————-
ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් පරිදි 2024 වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීමේ වැඩසටහන 2024.01.01 දින කාර්යාල පරිශ්‍රයේදී ක්‍රියාත්මක විය. ප්‍රථමයෙන්ම ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් ජාතික කොඩිය එසවීමෙන් අනතුරුව ජාතික ගීය හා කාර්යාලයීය ගීතය වාදනය විය. ඒ සමගම ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් වෙනුවෙන් ගෞරව දැක්වීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවය ආරක්ෂා කිරීම සිදුකරන ලදී.
ඉන් අනතුරුව 2024 වසරේ රාජ්‍ය සේවා ප්‍රතිඥාව සියලුම නිලධාරීන් විසින් ලබා දුන් අතර ඉන් අනතුරුව ආගමික වතාවත් සඳහා කාර්යාලයීය නිලධාරීන් ශ්‍රවණාගාරය වෙත යොමු විය. දැරණියගල ශ්‍රී සුමනාරාමයේ විහාරාධිපති පූජ්‍ය අමුහේන්කන්දේ වජිර ස්වාමීන් වහන්සේ, දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක, පූජ්‍යපාද ගලහිටි කන්දේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ හා දෙල්ඔලුව විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සෙත් පිරිත් සජ්ඣායනය සිදු කෙරිණි. අනතුරුව ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු සියලුම විධායක නිලධාරීන් විසින් 2024 වසරට සුභපැතුම් පණිවිඩ ගෙන එන ලදී.
මීට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර පැවැති වොලි බෝල් තරගාවලියේ ශූරතාවය දිනාගත් කාන්තා වොලිබෝල් කණ්ඩායමට හිමි ජග්‍රාහී ශූරතාවය කණ්ඩායම් නායිකා සුභාෂිණි කරුණාරත්න ක්‍රිඩිකාව ප්‍රමුඛ ක්‍රිඩිකාවන් හට ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු විධායක නිලධාරීන් විසින් ප්‍රදානය කරන ලදී. ඉන් අනතුරුව කාර්යාලයීය නිලධාරීන් නව අවුරුදු සංග්‍රහය භුක්ති විඳින ලදී. අනතුරුව සුපුරුදු පරිදි සිය සේවාවන් සැපයීම සිදු කරන ලදී.