ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් පොසොන් සහ ඇසළ පුන් පොහෝ දිනයන් අළලා සිදු කරන්නට යෙදුණු සීල සමාදාන වැඩසටහනක් 2023.06.28 දවස පුරා දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි. ප්‍රථමයෙන් වැසටහනේ අරමුණ පැහැදිලි කිරීම දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක පූජ්‍යපාද ගලහිටිකන්දේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ විසින් සිදු කරනු ලැබූ අතර පැමිණි පිරිස අෂ්ඨාංග උපෝසථ සීලයේ පිහිටවනු ලැබුවේ දැරණියගල සිරි සුමනාරාමාධිපති පූජ්‍යපාද අමුහේන්කන්දේ වජිර ස්ථවිරයන් වහන්සේ විසිනි.
ඉන් අනතුරුව දැරණියගල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, යටිවල විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පාද නිවුන්හැල්ලේ සේනානන්ද ස්වාමීන් වහන්සේගේ සුමධුර ධර්ම දේශනයක් ශ්‍රවණය කිරීමට අවස්ථාව උදාවිය. අනතුරුව භාවනාමය වැඩසටහනක් ක්‍රියාත්මක වූ අතර ඒ සඳහා සම්පත්දායකත්වය ලබා දෙන ලද්දේ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරී බී.ආර්.විමලරත්න මහතා විසිනි. අනතුරුව දැරණියගල ශෛලගිරිය පුරාණ ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන පූජ්‍යපාද දොරපනේ රතනසාර ස්වාමීන් වහන්සේගේ සුමධුර ධර්ම දේශනයක් ශ්‍රවණය කිරීම සහ අනතුරුව සිල් සමාදන් වූ උවැසි උවැසියන් සිල් පවාරණය කිරීම සිදු විය.
මෙම සීල සමාදාන වැඩසටහන සඳහා අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩමවා වදාළ මහා සංඝරත්නයට නමස්කාර පූර්වක ස්තුතිය පිරිනමන අතර උදෑසන, දිවා දානයන් හා ගිලන්පස පිළිගැන්වීම හා සකස් කිරීමෙන් මෙන්ම මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට නන් අයුරින් සහය වූ සියලුම දෙනාට පුණ්යානුමෝදනා කරමු.


0 Comments